God Sumana Saman | සුමන සමන් දෙවියන්


බෞද්ධ විශ්වාසයන්ට අනුව ශ්‍රී පාද අඩවියේ බාරකරු වන්නේ සුමන සමන් දෙවියන්ය. 

සුමන සමන් දෙවියන් 

සමන් දෙවියන් ලංකාවේ සතර දිසාව බාර දෙවිවරු හතර දෙනාගෙන් එක් අයෙකි. 
සමහර ප්‍රදේශ අනුව ‘සතර වරම් දෙවිවරු’ නාමයන් වෙනස් වුව ද ප්‍රධාන ලෙස පිළිගනු ලබනුවේ විෂ්ණු, සමන්, කතරගම හා විභීෂණ හතරවරම් දෙවියන් ලෙස ය. 
ඒ ඒ ප්‍රදේශ එම දෙවිවරුන්ගේ නිජබිම් ලෙස සලකා ඇත. ඒ අනුව දෙවිනුවර විෂ්ණු දෙවියන්ට ද, කැලණිය විභීෂණ දෙවියන්ට ද, කතරගම කඳසුරිඳුන්ට ද සබරගමුව සමන් දෙවියන්ට ද අයත් ය. මේ අතරින් සමන් දෙවිඳු මතු බුදුවන දෙවි කෙනෙකු වශයෙන් බෞද්ධ ජනතාව විශ්වාස කරති.

සමන් දෙවියන් පිළිබඳ පවත්නා ජනප්‍රවාද රාශියකි. 

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ අවස්ථාවේ මහියංගණයේ දී බුදුන්ගෙන් බණ ඇසීමට සබරගමුවේ සමන්තකූට වාසී ‘සමන්’ නමැත්තෙකු පැමිණ ඇත. 
බුදුන්ගෙන් බණ අසා ‘සෝවාන්’ බවට පත්වූ ඔහු බුදුරජුන්ගෙන් පූජාව සඳහා යමක් ඉල්ලා ඇත. මෙහිදී බුදුරජාණන් වහන්සේ කේශ ධාතු මිටක් ඔහුට ලබාදී ඇති අතර මහියංගණ චෛත්‍යය කරවා ඇත්තේ එම කේශධාතු නිධන් කර බව ද සැලකේ. 
පසුව තම ගම් ප්‍රදේශය කරා ගිය ‘සමන්’ දේවත්වයේලා සැලකිණි. සමන්තකූටවාසී සමන් යන අර්ථයෙන් ‘සුමන සමන්’ දෙවියන් වූ බව ප්‍රවාදිතය.

සමන් දෙවියන් ගැන පපංචසුදන අටුවාවෙහි ද සඳහන් වී ඇත. 
එහි සුමන දෙවියන්ගේ දියණියක වූ කාලි නම් දේවතාවිය දඹදිව රජගහ නුවර දෙවියකුට විවාහ කැර දුන් බව ප‍්‍රකාශ කරන අප‍්‍රකට පුවතක් සඳහන් වී තිබේ.



වසරක් පාසා වන්දනා සමය තුළදී සමන්ගිර කරා රැගෙන යන සමන් දේව ප්‍රතිමාව හා ධාතු කරඬුවද හින්දුන් විසින් වඳිනු ලබන පිත්තල ප්‍රතිමාවක්ද ශ්‍රී පාද වන්දනා කාලය අවසන් වූ පසු යළිත් එය එළඹෙන තුරු සමස්ත කාලයක් තැම්පත් කර තබනු ලබන්නේ පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල රාජ මහා විහාරස්ථානයේ විශේෂයෙන් තැනූ කාමරයකය. 
සෑම වසරකම සිරිපා වන්දනා සමය උදාවන්නේ උඳුවප් පුර පසළොස්වක දා බැවින් මෙකී පූජාවස්තු ඊට පෙර දිනවන විට සමන්ගිර මස්තකයට රැගෙන යාම සිරිතය. 
මෙහි තිබෙන පූජා භාණ්ඩ අතරින් සියල්ලටම වඩා ඓතිහාසික වූද පුරාවිද්‍යාත්මක වූද පූජනීය වස්තුව වන්නේ අඩියක් පමණ උසැති සඳුන් දැව මුවා සමන්දේව ප්‍රතිමාවයි. 
මෙම සමන්දේව ප්‍රතිමාව ඉතා විශාල සංඛ්‍යාවක ආභරණ වලින් සරසා තිබේ .ගෙලෙහි ලන ලද රන්දම්වැල් නිසා මේ ප්‍රතිමාවේ උඩුකය සම්පූර්ණයෙන්ම වාගේ වැසී තිබේ. මෙය නෙළා ඇත්තේ දෙපයින් සිටගෙන සිටින ආකාරයටය.



Unknown කතුවරයා

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන උතුම් ශ්‍රී පාදස්ථානය නිසි ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා කරන්න...

No comments:

Post a Comment