ජනශ්‍රැති



ශ්‍රී පාදස්ථානය සොයාගැනීම පිළිබඳව ඇති මූලාශ්‍ර

ශ්‍රී පාදස්ථානය මුල් වරට වන්දනා කටයුතු සඳහා සොයා ගනු ලැබුවේ නිශ්ශංකමල්ල  රජුගේ කාලයේදී බව ජනවහරේ කියැවේ. මේ පිළිබඳව ඇත්තේ රසවත් කතාන්දරයකි. 

නිශ්ශංකමල්ල රජු ගේ උයනේ කාලයක පටන් සොරකමක් සිදුවෙමින් තිබිණි. එය නම් රාජකීය උයනේ  තිබු සමන් පිච්ච මල් සෑම දිනකම රාත්‍රී කාලයේදී සොරා කඩා තිබුණි. නමුත් මෙය කවුරුන් විසින් කරනවද යන්න සොයා ගැනීමට හැකියාවක් ලැබුනේ නැත. කෙලෙස හෝ මල් සොරා අල්ලා දෙන අයෙකුට වස්තුව දෙන බව පවසා නිශ්ශංකමල්ල රජු විසින් අඬබෙර කරුවෙකු ගම් දානව් සිසාරා යැව්වේය. නමුත් කිසිවෙකුත් මේ සඳහා ඉදිරිපත් නොවුනේ සොරා අල්ල ගන්නට නොහැකි වුනොත් රාජ උදහසට ලක් වන බැවිනි. අවසානයේ මේ සඳහා ඉදිරිපත් වූයේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ පුද්ගලයෙකි. ඒ අත් පා අහිමි පුද්ගලයෙකි. කොටා යන නමින් හැඳින්වුන මේ පුද්ගලයා සොරු අල්ලන්නේ කෙසේ දැයි සැකයක් ඇති නමුත් ඔහුට අවශ්‍ය සියලු දේ සපයන ලෙස රජු විසින් අණ කළේය.
ඒ අනුව මල් උයනේ කෙළවරකට වන්නට කුඩා මඩුවක් සාදවාගත් ගත් කොටා රාත්‍රිය මුළුල්ලේ අවදිව සිටියේය. ඔහු දුටුවේ පුදුමාකාර දසුනකි. අහසින් පැමිණි සුරංගනාවියන් පිරිසක් සිත් සේ රාජකීය උද්‍යානයේ සමන් මල් නෙළන අයුරුයි. මේ කොටා හට අපූර්ව හැකියාවක් තිබුණි. ඒ මියුරු ස්වරයෙන් බට නලා වැයීමේ හැකියාවයි. සුරංගනාවියන් මල් නෙලනා අතරේ කොටා කලේ තම වස් දඬුවෙන් මියුරු වාදනයක් කිරීමයි. සවනට මිහිරි එම හඬ එන්නේ කොහි සිටදැයි විමසීමට එක් සුරංගනාවියක් කොටා සිටි මඩුව දෙසට ලං වුයේය. සැඟව සිටි කොටා එක් වරම සුරංගනාවිය අල්ලා ගත්තේය. එය දුටු අනෙක් සුරංගනාවියන් විගසින් අතුරුදන් විය.
පසු දින උදැසන උයනට පැමිණි රජු සොරා කවුරුන් දැයි දැක විමතියට පත් විය. සැමදාම රාජකීය උයනෙන් මල් සොරා ගෙන ගියේ කුමක් සඳහා දැයි රජු විමසා සිටියේය. වනයේ පිහිටි කඳු මුදුනක පිහිටුවා ඇති බුදුන් වහන්සේගේ ශ්‍රී පතුල වන්දනා කිරීම සඳහා මෙම මල් රැගෙන ගිය බව සුරංගනාවිය හෙළි කළාය. එයින් සතුටට පත් රජතුමා එම ස්ථානයට පාර පෙන්වන ලෙස සුරංගනාවියගෙන් ඉල්ලා සිටියේය. ගුවනින් මල් දමමින් නිශ්ශංකමල්ල රජුට ශ්‍රී පතුල පිහිටා ඇති සමනළ කඳු මුදුනට යන පාර පෙන්වූවාය. මහත් සතුටට පත් රජතුමා ශ්‍රී පාදස්ථානය වෙනුවෙන් බොහෝ දේ කල බව ජනවහරේ කියවේ. එසේම අත් පා අහිමි කොටා ට නැවතත් අත් පා ලැබුණු බවත් ජනප්‍රවාදයන්හි කියවේ. විශේෂයෙන්ම නිල් මැණිකක් මත පිහිටුවා තිබූ ශ්‍රී පාද ලාංචනයේ ආරක්ෂාව වෙනුවෙන් ඒ මත ගල් පොත්තක් පිහිටවූ බව ඉතිහාසයේ සඳහන් වේ. ශ්‍රී පාදස්ථානය වෙනුවෙන් ගම්මාන කිහිපයක්ම පුජා කල බවත් සඳහන් වේ.


ශ්‍රී පාදස්ථානය පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ හා ජනවහරේ පැවසෙන දේ පිබඳ ඇති මූලාශ්‍ර

මහාවංශය, දීපවංශය, චූලවංශය, ආදි වංශ කතාවල හා රාජාවලිය,දඹදෙණි යුගයේ ලියවුණු සමන්ත කූට වර්ණාවේද කෝට්ටේ යුගයේ ලියැවුණු ග්‍රන්ථ ගණනාවකද ශ්‍රී පාදස්ථානය පිළිබඳව සඳහන් වේ.
කෝට්ටේ යුගයේ ලියැවුණු සැලළිහිණි සන්දේශයේ සමනොළ කන්ද පිළිබඳ මෙසේ දැක්වේ.
සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැ නද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැඳි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර
අපේ සාහිත්‍යයේ සුවි‍ශේෂ අංගයක් වන ඡනකවි පිළිබඳ සැළකීමේදී ද සම්බුදු සිරිපා වන්දනාවට අදාළ ජනකවි රාශියක් ඇති බව පෙනේ. සම්බුදු සිරිපා රැඳුණු සමනොළ කන්ද, සමන් දෙවියන් , තෙරුවන් ගුණ,ගමන්මගේ විශේෂ ස්ථාන ආදිය ඇතුළත් වු ඡනකවි වලට නිදසුන් කිහිපයකි.

බතට කන්න බැරි බතලේගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හූනට කන්න බැරි හුන්නස් ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනොළ කන්ද

යන්ට හොඳයි තේවතු බල බලායේ
කන්ට හොඳයි පැණිරස අග්ගලායේ
ඉන්ට හොඳයි සීතල පිනි බබායේ
වැන්දොත් හොඳයි සමනොළ පිං පුරායේ
....

Unknown කතුවරයා

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන උතුම් ශ්‍රී පාදස්ථානය නිසි ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා කරන්න...