Before Sri Pada Pilgrimage | සංචාරයට පෙර


ශ්‍රි පාදස්ථානය යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලොවේම ගෞරවයට පාත්‍ර වූ අති උතුම් පුද බිමකි.
ගෞතම බුදු රජාණන් වහන්සේගේ වම් ශ්‍රී පාද සලකුණ පිහිටා ඇති අතිශයින්ම පූජනීය සුන්දර ස්ථානයකි.
ස්වභාව සෞන්දර්යෙන් අනූන පරිසර පද්ධතියකින් හෙබි ශ්‍රී පාද අඩවිය මතු පරපුරට රැකගැනීම ඔබ සතු යුතුකමක් වේ.
විනෝද වන්න.. නමුත් ගරු කරන්න..අනාගතය උදෙසා රැකගන්න..
සුන්දර වන සතුන්, තුරුලතා, දිය දහරා වලින් හෙබි මේ සුන්දර පරිසරය රැකගන්න..
සොබාදම් මාතාවගේ ආරක්ෂකයා ඔබයි...!!!

බුදුන් වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් වන ශ්‍රී පාද පද්මය වැඳ පුදාගැනීමට පැමිණෙන ඔබ මේ පැමිණෙන්නේ වන්දනා ගමනක් බව සිහි තබා ගන්න.
මත්ද්‍රව්‍ය, පොලිතින් ශ්‍රී පාද අඩවියට ගෙන ඒමෙන් වළකින්න.
විනෝද චාරිකාවක් නොවන නිසා සංයමයෙන් පිහිටා ශ්‍රද්ධාවෙන් ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන්න.

වාරයේ සිරිපා කරුණා  කරන ඔබට...

ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන ඔබ වෙනුවෙන් සියලුම පහසුකම් ශ්‍රී පාද වන්දනා කාල සීමාව තුලදී ඔබට ලබාගත හැකි වේ.

නිරන්තර බස් සේවාවන් පවතින අතර කිසිදු බාධාවකින් තොරව ශ්‍රී පාද වන්දනාව සඳහා ඉඩ කඩ සලසා දී ඇත.
හැටන් - නල්ලතන්නි මාර්ගය, ශ්‍රී පලාබද්දල යන මාර්ග දෙකෙන් වන්දනාවේ යෙදෙන ඔබ වෙනුවෙන් විශ්‍රාම ශාලා, වෙළඳ සැල්, පොලිස් ස්ථාන හා අනෙකුත් අවශ්‍ය සේවාවන් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබේ.
කුරුවිට - එරත්න මාර්ගයේ ගමන් කරන ඔබට අවම විශ්‍රාම ශාලා ප්‍රමාණයක් හා අවම පහසුකම් යටතේ ගමන් කිරීමට සිදුවේ.. වනගත මාර්ගයක් බැවින් පහසුකම් ඉතා අවම මට්ටමක පවතී.


මාලිබොඩ, මුක්කුවත්ත හා රාජමලේ මාර්ග වලදී එම පහසුකම් ලබාගැනීමට හැකියාවක් නොමැති අතර එම මාර්ග රත්නපුර හා හැටන් මාර්ග හමුවන තෙක් එම පහසුකම් තමන් විසින්ම සලසා ගත යුතුවේ.


අවාරයේ සිරිපා කරුණා කරන ඔබට...

ශ්‍රී පාද පද්මය වැඳ පුදාගැනීමට පද්මය සහිත කුටියට හා උඩ මළුවට යා නොහැක. නමුත් ඉහළ මළුව තෙක් ගමන් කළ හැක. පෝය දිනවල පමණක් ඉහළ මළුව විවෘත කරනු ලබන අතර එම දින වලදී ශ්‍රී පාද පද්මය වන්දනා කල හැක.

"අවාරයේ ශ්‍රී පාද වන්දනාව යනු ඉතාමත්ම දුෂ්කර කටයුත්තකි.. අධික වර්ෂාව, අධික සුළං,  වන සතුන්ගේ බලපෑම්, කැලෑවෙන් වැසුණු මාවත් ආදී නොයෙකුත් සාධක නිසා ශ්‍රී පාද කරුණාව ඉතාම දුෂ්කර කටයුත්තක් වේ"
නමුත් ඔබ පරිසරයට ආදරය කරන්නෙක් නම් ඉතාමත්ම සුන්දර කාලයද වන්නේ අවාරයයි..
මිනිසුන්ගේ බලපෑමෙන් තොරව නිදහසේ සිටිනා ශ්‍රී පාද අඩවිය යනු මිහිපිට ඇති සුන්දරම ස්ථානයයි..

ශ්‍රී පාද වන්දනා කාල සීමාවේදී සියලු පහසුකම් සහිත මාර්ග වල පවා අවාරයේ පහසුකම් නොමැත.
එම පහසුකම් තමන් විසින්ම සලසා ගත යුතුවේ.
ආහාර, ඖෂධ, හා අනෙකුත් අමුද්‍රව්‍ය සියල්ලම තමන් විසින් සපයා ගත යුතු අතර.. ඕනෑම විශ්‍රාම ශාලාවක් තුල නතර වී සිටීමේ හැකියාව ඇත.

අවාරයේ කරුණා කරන ඔබ වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් පහත දක්වා ඇත.

* කූඩැල්ලන් සඳහා මේස් ආවරණ      (අනිවාර්යයි)
                   කූඩලු මේස් යනු කුමක්ද? එය භාවිතා කරන්නේ කෙසේද?
* කූඩලු කෝටු ( කැලෑ බද මාර්ග වලින් ගමන් කිරීමේදී අවශ්‍ය වේ)
                   කූඩලු කෝටු සාදාගන්නේ කෙසේද? හා එහි වැදගත්කම 
* කූඩාරමක්
* කුඩා ප්‍රමාණයේ භූමිතෙල් හෝ ගෑස් ලිපක්
* GPS උපකරණයක් (කැලෑ බද මාර්ග වල ගමන් කරන්නේ නම් පමණක්)
* ශ්‍රී ලංකා දිස්ත්‍රික් සිතියම් (අවශ්‍ය කොටස පමණක්)  මෙතනින්
* ඖෂධ
* ඉතාමත් හොඳ කායික හා මානසික යෝග්‍යතාවය.

Unknown කතුවරයා

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන උතුම් ශ්‍රී පාදස්ථානය නිසි ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා කරන්න...