Story of Dehenakanda Mukkuwatta Trail | දෙහෙනකන්ද - හපුගස්තැන්න මාර්ගය හෙවත් මුක්කුවත්තේ කැලෑ පාර


දෙහෙනකන්ද -  හපුගස්තැන්න මාර්ගය හෙවත් මුක්කුවත්තේ කැලෑ පාර නිර්මාණය වීමේ සත්‍ය කතාව..

මාර්ගයේ චායාරූප මෙතනින් 
මෙම මාර්ගය පිලිබඳ සම්පූර්ණ මාර්ග විස්තරය මෙතනින්


කිසිවෙක් නොදන්නා අප්‍රකට පාරක් වන මෙම මාවත මීට වසර අසූවකට පමණ පෙර සොයාගෙන ඇති බව සඳහන් වේ.

මෙම මාර්ගයේ වැඩිපුරම ගමන් කරන්නේ පැලෑඳගම වේවැල්වත්ත, පහළගම, රත්ගම, අමුණුතැන්න, ගල්ලෑල්ල, බඹරබොටුව, ගලබඩ, මල්වල, දෙහෙනකන්ද, බටේවෙල ගුරුබැවිලාගම වැනි ගම් ප්‍රදේශවල සිටින ජනතාව පමණි.

 පැලෑඳගම ශ්‍රී සුධර්මාරාමාධිපති ශාස්‌ත්‍රවේදී ලත්පඳුරේ අමරවංශ හිමියන් මේ මාවත පිළිබඳව දක්වා ඇති සටහනක්...

"මේ වාගේ සමයක මේ මාවත පිළිබඳ තොරතුරු කියන්න ලැබීම ලොකු පිනක්‌. අපේ සැදැහැතියෝ මේ මාර්ගය පිළිබඳව තොරතුරු දැනගත්තාම ලොකු සතුටක්‌ ලබයි"

වෙවැල්වත්ත අමුණුතැන්න සිට දෙහෙනකන්ද හරහා කිලෝමීටර් අටක්‌ විතර ගියාම ඒ හරහා ඇති රත්ගඟ හමුවෙනවා. එයින් එගොඩවෙලා සාමාන්‍ය කඳුහෙල් පසුකරලා කිලෝමීටර් පහක්‌ විතර කැලෑව මැදින් යනකොට මහවැලිගඟ හමුවෙනවා. මහවැලිගඟ පසුකරලා තවත් කිලෝමීටර් පහක්‌ විතර කන්ද නඟිනකොට සිරිපාදයට යන්නට පුළුවන්. මෙය ඉතාම කෙටි මාර්ගයක්‌ බව පෙනෙනවා. වෙනත් මාර්ගවලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ අව්රශ්මිය නැති අලංකාර වනාන්තරයක්‌ මැදින් මාවත වැටී තිබීමයි. මෙහිදී වන සතුන්ගෙන් පීඩා නොවීමත් අමු දර ගිනි දැල්වීමට යොදාගත හැකි වීමත් ආශ්චර්යයක්‌. අමරවංශ හිමියෝ කියති. 

මෙම මුක්‌කුවත්ත කැලෑපාර දැනට වර්ෂ අසූවකට පමණ ඉහතදී ආරම්භ කර ඇති බවත් එය සකස්‌ කිරීම පිළිබඳ විස්‌තරයක්‌ පැරැණි ලේඛනයක සඳහන්ව තිබී තමාට ලැබුණු බවත් අමරවංශ හිමියෝ පැවසූහ.

මෙම පාර සොයාගැනීමේ පුරෝගාමියා වූ අමුණුතැන්නේ පදිංචිව සිටි වෙඩික්‌කාරගේ ඩිංගිරි කංකානම මහතා පොතක සටහන් කර තිබී ඒ මහතාගේ ඥති මිණිබිරියක්‌ වන පැලෑඳගම පදිංචි පී. පී. රත්නසීලි මහත්මිය අමරවංශ හිමියන්ට එම විස්‌තරය ලබාදී ඇත.

එහි මෙසේ සඳහන් වෙයි.

ශ්‍රී පාදස්‌ථානය වැඳපුදා ගැනීමට අලුත් මාර්ගය නොහොත් අඩිපාර සැදීමේ විස්‌තරය

එනම් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ අමුණුතැන්නේ පදිංචි වෙඩික්‌කාරගේ ඩිංගිරි කංකානම වන මම මීට ඉහත නොහොත් අවුරුදු දෙකකට කලින් සිටම මගේ හිතේ ශ්‍රී පාදස්‌ථානයට යැමට පාර සෑදීමේ අදහසක්‌ තිබුණි. ඒ සඳහා ටිකක්‌ ඉඩ පහසු ඇති කාලයක්‌ද සුබ දිනයක්‌ද ළඟාවුණ නිසා වර්ෂ 1933 ක්‌වූ පෙබරවාරි මස 08 දින මම සහ දැනට මෙහි පදිංචි කේ. ඒ. ඩී. කරෝලිස්‌ අප්පුහාමිද බඹරබොටුවේ දේවාලයේ කපුමහතාද හෙට්‌ටිකන්දේ කිරිඅංචියාද පැලෑඳගම ඩිංගිරියාද එමගම හතන්කිරාද කැකිල්ලවල අප්පුහාමි යන හිතවත් හය දෙනාය. මේ අය ගොස්‌ මෙදින උදේ 8 ට හපුගස්‌තැන්නේ මුක්‌කුවත්තේ රත්ගඟ සමීපයට පැමිණ ගඟින් එගොඩ වී වනාන්තරයට ඇතුළු විය. එදින දහවල් කෑම කන වේලාව වන විට වනයේ අඩිපාරට මායිම්කර අපට ගමනට පුළුවන් පමණ ගස්‌වැල් ආදිය කපමින්ද මාර්ගය කොයි කොයි අතට ළඟාවනවාද මගේ කල්පනාවෙන්ම සෝදිසි කරගෙන හැතැක්‌ම 1 1/2 පමණ දුර මාර්ගය ගියවිට ආහාර ගන්න වෙලාව බව වැටහුනෙන් අප සිය නිවසේදීම සාදාගෙන රැගෙන ගිය ආහාර අනුභව කර එතනදී මාර්ගය ගැන මා පිරිස සමග ටික වේලාවක්‌ විමසීමෙන් කතා කර නැවතත් මට සුදුසුය කියන හිතෙන අන්දමට මාර්ගය එළිකර ගන්න පටන්ගෙන එදින අඳුර වැටීගෙන එන වෙලාවට හැතැක්‌ම 1 ක්‌ පමණ දුර කැලෑව කපන්නට හැකිවිණි.


එදින රාත්‍රී නැවතීමට ගලක්‌ නොහොත් ගලකින් සෑදුනු වැසි ආදියට තරමක්‌ උපකාරිවන අන්දමට තිබුණ නිසා එහි රාත්‍රියට නැවතීමු. ගෙන ගොස්‌ තිබුණ ද්‍රව්‍යවලින් ආහාර සම්පාදනය කොට ආහාර අනුභව කර එදින රාත්‍රියේම මහ වනයේ සීත සුළං වන මුරුගයින් ආදී කොයි දෙයිනුත් බිරම්වූ මහ වනය ත්‍රිවිධ රත්නානුභාවයෙන් එදින සිට එළිවන තෙක්‌ කරදරයක්‌ නොවිණ.  



මුක්කුවත්තේ මාර්ගය තැනූ වෙඩික්කාරගේ
               ඩිංගිරි කංකානම





නැවත පසුදා උදේ 7 ට පමණ ආහාරගෙන පිටවී එදින 10 ට පමණ වනයේ අඩි 130 ක්‌ පමණඋස්‌වූ මහ ගසකට නැඟී ශ්‍රී පාදස්‌ථානය පිහිටි සමන්ත කූඨ පර්වතය කොයි දිසාවේ ඇත් දැයි කියා මම ටික වේලාවක්‌ ගස උඩම සිට සෝදිසි කර බැල්ම හෙළුමුත් එයින් කිසි සලකුණක්‌ නොතිබුණත් උදව්වක්‌ද නොවීය.

ඒ නැතත් මම ගසින් බැස ගන්නා විට වෙලාව පැවති අන්දමට එළිකරගෙන යන්නට පිටත් වුණෙමු. මෙසේ ටික දුරක්‌ ගොස්‌ හවස 5 ට පමණ වනතුරු ගමන්කර දවල්ට ආහාර නොගෙන තිබුණු නිසා පීඩා ආදියද කිසි දෙයක්‌ නොසලකා හැතැක්‌ම 01 ක්‌ පමණ පසුකර වතුර ගලාඑන පොඩි ඇළපාරක්‌ අසල එමදා රාත්‍රි ආහාර ආදිය තිබූ දෙයින් ප්‍රයෝජන ගෙන නැවතී සිටියෙමු. රාත්‍රී මහත් කල්පනාවකින් ගත කරන්නට වුණෙමු. එනම් මාර්ගය කොයි දිසාවකට යනවාද කියා හරිහැටි නොදත් නිසාය.

නමුත් ටිකක්‌ නිද්‍රෝපගත වී එන වෙලාවේදී මෙන්න මෙහි පහත සඳහන් අන්දමට ස්‌වප්නයකට කවුදෝ කීවේය. එනම් මාර්ගයේ ආපසු ගොස්‌ හැතැක්‌ම 1/2 ක්‌ පමණ දී දකුණු දිසාවට තිබෙන කන්ද මුදුනට ගොස්‌ ගසකට නැගී බැලුවම ශ්‍රී පාදස්‌ථානය පිහිටි දිශාව පෙනෙයි. එතනදී මට මහත් ප්‍රීතියක්‌ සතුටක්‌ ඇතිවුණා. ඇස්‌ දෙකෙන්ම සතුටු කඳුළු පිටවුණා. පහන් වෙන්නේ කොයි වෙලාවෙද ඉතා ප්‍රීතියෙන් සිට පසුදා ඒ අන්දමට අනික්‌ අය සමග ගොස්‌ ශ්‍රී පාදස්‌ථානය පිහිටි දිසාව හරියාකාරව දැනගන්නට ලැබුණි. එම නිසා ගස උඩ සිට මගේ පිරිසගෙන් එක්‌ අයෙකුට කතා කොට දිග ලීයක්‌ කපාගෙන එන්නට කීවෙමි.

එතනදී ලීය ගෙනාවට පසුව එය ගසට ගෙන්වාගෙන මම ඇඳගෙන තිබූ වස්‌ත්‍රය කොනකින් දෙකට ඉරා ගස මුදුනේ ඒ වෙලාවට හැකි අන්දමට කොඩියක්‌ නොහොත් ලාංඡනයක්‌ සවිකර තියා එම ගසේ සිට තවත් කන්දක්‌ බලා ගතිමි. ඊට පසුව ගසින් බැස මාර්ගය සාදාගෙන යන්නට පිටත් වුණෙමු. 

එදින දවල් 2.30 ට පමණ තවත් කන්දක්‌ මුදුනේ ගසකට නැඟී බැලුවම කලින් මා විසින් දැමූ කොඩිය සම්පූර්ණයෙන්ම දුටිමි. එම නිසා ඉතිරිවූ දෙවැනි රෙදි කැබැල්ලෙන්ද කොඩියක්‌ දැමුවෙමි. සරොම් දෙකක්‌ ඇඳගෙන සිටිය නිසා කොඩි දැමීමට පහසු විය. ඒ ගසටද ශ්‍රී පාදස්‌ථානය පෙනෙන්නට තිබුණි. නැවත ගසින් බැස මාර්ගය එළිකරගෙන ගොස්‌ හවස 4.30 ට පමණ වනයේ ගලා බසින ගංගාවකට පැමිණ නතර වුනෙමු.

එමදා රාත්‍රියේදී මට ස්‌වප්නයෙන් මාර්ගයට සුදුසු ලකුණු 07 ක්‌ කීවේය. පාන්දර පිටත්වී මාර්ගය එළිකරගෙන ගොස්‌ දහවල් එකට පමණ වතුර ගලායන පොඩි ඇළ පාරට පැමිණියෙමු. එහිදී දහවල් ආහාර ගෙන නැවත පිටත්වී සවස 4.30 ට පමණ ඇසළ කණුව ළඟට පැමිණියෙමු. එතැන සිට පිටත්වී ශ්‍රී පාද පද්මය පිහිටි මළුවට පැමිණි ගමනේදී මල්වල සුවඳ ආදිය අපේ නහයට දැනුණි. එයින් අපට බුදුරජාණන් වහන්සේ සියෑසින් දුටුවා හා සමාන ප්‍රීතියක්‌ දැනුණි. උන්වහන්සේගේ ශ්‍රීපාද පද්මය වැඳපුදාගෙන ඒ කළා වූ පිං රාශිය ගුරුවරු දෙමාපියන් නැදැ ආදීන් සියලු දෙනාටද ශාසනය භාර වූ විෂ්ණු දිව්‍ය රාජයාණන් වහන්සේටද සුමන සමන් දිව්‍ය රාජයාණන් වහන්සේටද සහ අනෙකුත් දෙවි දේවතාවුන් වහන්සේලාටද පිං දීමෙන් පසුව එමදා රාත්‍රියට නැවතී සිටීමට එම දිනවල වැඩ විසූ ශ්‍රී පාදස්‌ථානය භාර වූ ස්‌වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලුව නමුත් ලැබුණේ නැති නිසා හැටන් පාරේ ඉදිකටු පානට ගොස්‌ එමදා රාත්‍රියේ නැවතී සිටියෙමු. ඊට පසු අප්‍රේල් මාසයේ දවසක මම කල්පනා කළා. පිංකමක්‌ කරන්න අදහස්‌කර ගල්ලෑල්ල විහාරයේ වැඩ සිටිය නායක ස්‌වාමීන් වහන්සේ මගින් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්‌වාමින්වහන්සේ ඇතුළු තවත් ස්‌වාමීන් වහන්සේලාට ආරාධනා කරන්නට මා විසින් සොයාගත් මාවතේ යහපත සඳහා පූජා කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් මා මගේ නිවසට ස්‌වාමීන්වහන්සේලා 18 නමක්‌ වැඩමකොට පසුවදා හීල දානයෙන් පසුව හේවිසිකරුවන් හොරණෑකරුවන් තම්මැට්‌ටම් කරුවන් ආදී පංචතූර්ය නාද ඇතුව සියයකට අධික වැඩි දෙනෙක්‌ මාවිසින් සාදා එළි කළ පාරෙන් ශ්‍රී පාදස්‌ථානය වැඳ පුදා ගැනීම පිණිස 1933 මැයි මස 26 වැනි දින පිටත්වී ගියෙමු. මෙදින සංඝයා වහන්සේලාට සෑහෙන පමණ දානෝපකරණ ද දහවල් දානයද පිළියෙළ කරගෙන ගියෙමු. එහෙම ගොස්‌ හපුගස්‌තැන්නේ අගබිමේ මුක්‌කුවත්ත සමීපයේ පිහිටි රත්ගඟ ළඟ සිට පංචතූර්ය නාදයෙන් යුත් පෙරහැර මහ හිමවතට ඇතුළු උනෙමු. මා විසින් සාදා පිළිවෙල කල පාරේ දුර ප්‍රමාණය මුක්‌කුවත්ත සමීපයේ පිහිටි රත්ගඟේ සිට ඇහැළ කණුව ළඟට හැතැක්‌ම 06 කි. දම්මැල් 25 කි. හැතැක්‌ම 03 ක්‌ පමණ ගිහින් බැලූ විට සංඝයා වහන්සේලාට දාන වෙලාව ළංවී ගොස්‌ තිබුණ බැවින් තිබුණ දේවලින් හරියට පිළිවෙළක්‌ නැති අතරමග මාර්ගයේදී දහවල් දානය පිළිගැන්නුවෙමු. එය අවසන් වී අප යළි ගමන ආරම්භ කෙළෙමු.

සවස්‌වනතුරු ගමන් කළ අප එදින මහවැලි ගඟ අසල තිබූ අම්බලමේ නතරවීමු. මෙම අම්බලම දිව්‍ය විමානයක්‌ සේ අපට හැඟිණි. එදින රාත්‍රියේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් සුමධුර ධර්ම දේශනාවක්‌ පවත්වා සමන් දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට පිං පමුණුවා මෙම මාවත අනාගත සියලු දෙනාට ගමන් කිරීමට පහසු මඟක්‌ වේවායි ප්‍රාර්ථනා කළහ. මෙම ස්‌ථානයේ සිට ඇහැළ කණුව ළඟට හැතැක්‌ම 02 කි. දම්මැල් 02 කි.

අලුයම 02 ට සංඝයා වහන්සේලා උදෙසා දානය සූදානම් කර ගමනට සුදානම් වුණෙමු. අලුයම 06 පමණ පංචතූර්ය නාද මැද ඇහැළ කණුව ළඟට පැමිණියෙමු. පසුව සංඝයාවහන්සේලා උදෙසා දානය පිරිනමා අනතුරුව සංඝයාවහන්සේලා 18 නම ඇතුළු 120 දෙනෙකුගෙන් යුතු වූ පිරිසගෙන් සැදුම්ලත් පෙරහැර ඉතා සංසුන්ව හිත කය නොවෙහෙසා ගෞරවයෙන් භක්‌තියෙන් ලෝක මුනින්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී පාදස්‌ථානය පිහිටි ස්‌ථානය කරා පැමිණියෙමු. පැමිණි සියලුදෙනා පූජා පවත්වා වැදපුදා ශාසන භාරව වැඩ සිටින විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේටත් සුමන සමන් දිව්‍යරාජයාණන් වහන්සේ ඇතුළු සියලු දෙවි දේවතාවන් වහන්සේලාටත් ගුරුවරු දෙමාපියන්ටත් නැසීගිය පරලොව සැපත් ඇත්තන්ටත් පිං අනුමෝදන් කොට නැවත කිසිදු කරදරයකින් තොරව නිවෙස්‌ කරා පැමිණියෙමු.

මා විසින් සැදූ පාරේ ඒ අවුරුද්දේ දාන මාන කිරීම සඳහා ජන ගඟ එක්‌ රැස්‌ විය. ඒ මහත් පුණ්‍යකර්මය සිදුකිරීමට මා හට හැකි වූයේ මාගේ භාර්යාව වන අංචෝගේ උපකාරයෙන් හා මාගේ මිතුරන්ය. මේ සඳහා ආධාර උපකාර කළ සියලු දෙනාට පිං අත්වේවායි එක්‌ සිත්ව පතමි.

මෙම මාර්ගය සෑදීම නිසා බලංගොඩ පැල්මඩුල්ල පලාතෙන් එන වන්දනාකරුවන්ට ඉතා පහසු මෙන්ම වන්දනා කර ආපසු කිසිදු කරදරයකින් තොරව සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් ආපසු නිවෙස්‌කරා යැමට හැකි බව කරුණාවෙන් මතක්‌ කරයි. සියලු දොනට ශ්‍රී පාදස්‌ථානයේ පිහිටත් සුමනසමන් දෙවියන්ගේ පිහිටත් ලැබේවායි පතමි.

ඉහත සඳහන් මෙම ලිපිය අනුව එවකට බැතිමතුන්ගේ ශ්‍රී පාදස්‌ථානය පිළිබඳ ශ්‍රද්ධාව ඉස්‌මතු වී පෙනෙයි. එවැනි පොදු සේවාවන් කිරීමේදී ප්‍රදේශයේ මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගත් ආකාරයද පැහැදිලි වෙයි.

මෙතෙක්‌ එතරම් සැලකිල්ලකට ලක්‌ව නැති මෙම මාවත පිළිබඳව වත්මන් නව ශ්‍රී පාද්සථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වය ඇතිව පළාත් සභා ප්‍රාදේශීය සභා ඇතුළු රජයේ අවධානය යොදවන්නේ නම් අගනා පිංකමක්‌ බව අමරවංශ හිමියෝ සඳහන් කළහ.

ලත්පඳුරේ අමරවංශ හිමිපාණන් වහන්සේට ගෞරවනී ස්‌තුතිය, පැළෑගම පී. පී. රත්නසීලි මහත්මියට විශේෂ ස්‌තුතිය

උපුටා ගැනීමකි
Unknown කතුවරයා

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන උතුම් ශ්‍රී පාදස්ථානය නිසි ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා කරන්න...

4 comments:

  1. මේ පාරවල් හැදුනොත් හොදයි හැමදාම හැටන් නල්ලතන්නි පාරෙන්ම යන්ට බෑ

    ReplyDelete
    Replies
    1. එක පැත්තකින් ඒ දේ හරි.. හැබැයි තව පැත්තකින් ඒ දේට 100%ක්ම එකඟ වෙන්නත් බෑ.
      මොකද හැටන්, පලාබද්දල පාරවල් දෙකම දැන් ගොඩක්ම නවීකරණය වෙලා.
      මේ පාරවල් වලටත් ඒ දේ වෙනවට නම් පුද්ගලිකව කැමති නැහැ.

      Delete
  2. මේ පාර පටන් ගන්න තැනට යන්නේ කෝමද? වාහනෙකින් යන්න පුලුවන්ද? බස් එකේ ගියොත් කොහෙන් බැහැලද යන්නේ. මේකෙත් යන්න ඕනේ දවසක

    ReplyDelete
    Replies
    1. රත්නපුරින් එන්න ඕන පලාබද්දල පාරේ. එතනින් මල්වල හන්දියට ඇවිත් වේවැල්වල පාරදිගේ නුගපොළ හන්දිය වෙනකන් ඇවිත් දෙහෙනකන්දට එන්න ඕන..
      දෙහෙනකන්ද ඉඳන් කිලෝමීටර් 3ක් විතර දුර එන්න ඕන පයින්.. වාහනයක එන්නත් පුළුවන් ඒ කිලෝමීටර් 3 දුර. හැබැයි ටිකක් අමාරුයි.

      Delete