කල්‍යාණීතෝ ගගනතෝ මුණියත්ථ ගන්ත්වා
දස්සේයී චක්කවරලක්ඛණ පාදලඤ්ඡං
ලංකාමහීවරවධු මකුටෝපමානං
වන්දාමහං සුමණකූට සිලුච්චයන්තං
උතුම් වූ ශ්‍රී පාද පද්මය වැඳ පුදාගැනීම නිතිපතා කළ නොහැක්කකි. මන්ද යත් ඒ සඳහා විශේෂිත කාල සීමාවක් හා නිසි වත් පිළිවෙත් සිදු කරමින් ඉමහත් ශ්‍රද්ධාවෙන් කලයුතු වන්දනාවක් බැවිනි.
ශ්‍රී පාද වන්දනා කාල සීමාව මාස 6කි. උඳුවප් මස (දෙසැම්බර්) සිට වෙසක් මස (මැයි) මස දක්වා ඒ කාල සීමාවයි.
මෙම සිරිපා සමය ආරම්භ වන උඳුවප් පොහෝ දින ඇරැඹෙන ආගමික චාරිත්‍ර අදියර කීපයකින් සමන්විත වෙයි.
· පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල පන්සලේ සිදු කෙරෙන වතාවත්.
· රත්නපුර මහ සමන් දේවාලයේ සිදු කෙරෙන පුද පූජා
· සමනොළ කන්දේ සිදු කෙරෙන ආගමික චාරිත්‍ර
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙනි.
ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කිරීම සඳහා වන මූලික ආගමික වතාවත් හා චාරිත්‍ර වාරිත්‍ර සිදුවන්නේ පැල්මඩුල්ල ගල්‍පොත්වෙල ශ්‍රී පාද රජ මහා විහාරස්ථානයේදීය.
එයට හේතුව ශ්‍රී පාදස්ථාන උඩමළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව ඓතිහාසික සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු ජූජා වස්තූන් ශ්‍රී පාද අවාර සමයේදී තැන්පත් කර තිබෙන්නේ පෙර සඳහන් ගල්‍පොත්වෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ වීමය. මෙම විහාරස්ථානය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ඉදිකොට ශ්‍රී පාදස්ථානයට පූජා කර තිබේ.
ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙන්නේ උඳුවප් පුන් පොහෝ දිනයෙන් වුවද ඒ හා බැඳුණු මූලික චාරිත්‍ර වාරිත්‍ර සිදුවන්නේ ඊට දින දෙකකට පමණ පෙරදීය.
ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් ප්‍රධාන උඩමළුවේ තේවා භාර හිමිවරුන්ද, සමන් දේවාල කපු මහත්වරුන් හා ශ්‍රී පාද කාර්යය මණ්ඩලයද මේ චාරිත්‍රවලට සම්බන්ධ වේ. මෙම චාරිත්‍ර වාරිත්‍ර බුද්ධ පූජා හා දේව පූජා වශයෙන් කොටස් දෙකකින් සිදුවන අතර එහිදීද බුද්ධ පූජාවන්ට මුල් තැනක් හිමිවේ.
එයට විශේෂ වූ හේතුවක් ඇත.
සමන්ගිරට අධිපති සුමන සමන් දෙවිඳුන් සෝවාන් ඵල ලාභී බෞද්ධ මහෝපාසකයෙකු වන නිසා ගල්‍පොත්තාවෙලදී පමණක් නොව ශ්‍රී පාද උඩමළුවේදීද දේව පූජාවලට ප්‍රථමයෙන් බුද්ධ පූජා හා ආගමික වතාවත් සිදුකෙරේ.
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භක චාරිත්‍ර වාරිත්‍ර මුලින්ම සිදුවන්නේ තුන්තිස් පැයේ පරිත්‍රාණ ධර්මදේශනාවයි. උඳුවප් පුන් පොහෝ දිනට දින දෙකකට පෙරදී මෙම පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේදී ආරම්භ වේ.
එම විහාරස්ථානයේ සමන් දේවාලය තුළ විශේෂ කුටියක තැන්පත් කර තිබෙන සුමන සමන් දෙවියන්ගේ ඓතිහාසික සඳුන් මුවා ප්‍රතිමාව ඇතුළු දේවාභාරණ සුබ මොහොතින් පිටතට වැඩම වන්නේ මහා සංඝ රත්නයේ සෙත් පිරිත් දේශනා හා මඟුල් බෙර වාදන මධ්‍යයේය.
ඉන්පසු විශේෂ දේවපූජා හා වතාවත් සිදුවන අතර ඒ කටයුතුවලදී ප්‍රමුඛත්වය ගන්නේ ශ්‍රී පාද නාහිමි සහ උඩමළුවේ ප්‍රධාන කපුමහත්මාය. ඉන්පසු පුරා රැයක් පහන් වන තුරු බැතිමතුන් ලක්ෂ ගණනින් පැමිණ සුමන සමන් දෙවියන් උදෙසා භාර හාර ඔප්පු කරමින් පුද පූජා පවත්වනු ලැබේ.
පසුදාට පහන් වෙද්දී එළැඹෙන සුබ නැකතින් දේවාභාරණ සහිත පූජා භාණ්ඩ අලංකාර රථ දෙකක තැන්පත් කරනු ලැබේ. ඉන්පසු ගමන් ඇරඹෙන රථ පෙරහැර පැල්මඩුල්ල, ලෙල්ලුපිටිය ඔස්සේ සබරගමු මහ සමන් දේවාලය වෙත ළඟා වේ. සමන් දේවාලයේදී ද විශේෂ චාරිත්‍ර වාරිත්‍ර රැසක් සිදුවන අතර පෙරහරේ ගමන් ගන්නා මහා සංඝරත්නය වෙත හීල් දානය පිරිනැමීම ද එහිදී සිදුවන චාරිත්‍රයකි. මේ සියලු චාරිත්‍ර වාරිත්‍රවලින් පසු නැවතත් රත්නපුර මහ සමන් දේවාලයෙන් දේවාභරණ සහිත රථ පෙරහර ගමන් අරඹයි. ඒ පෙරහර දෙකක් වශයෙනි.
ඉන් එක් පෙරහරක් රත්නපුර මල්වල මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩමළුව කරා ගමන් අරඹන අතර අනෙක් පෙරහර අවිස්සාවේල්ල, කිතුල්ගල හැටන්, නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරා ගමන් ආරම්භ කරයි.
මේ රථ පෙරහර දෙකම නල්ලතන්නියෙන් හා පලාබද්දලින් නතර වන අතර එතැන් පටන් දේවාභරණ වැඩම කරවන්නේ පා ගමනනි.
මෙසේ මාර්ග දෙකකින් ගමන් ගන්නා පෙරහර දෙකම ශ්‍රී පාද උඩමළුව කරා ගමන් ගත් පසු උඳුවප් පුන් පොහොය උදාවෙමින් තිබියදිය.
පොහෝ දිනය උදාවන හිමිදිරි පාන්දර ශ්‍රී පාද පද්මය සුවඳ පැනින් දෝවනය කර පෙරහරින් වැඩමවූ පූජා වස්තුන් උඩමළුවේ තැන්පත් කරන්නේද සුබ හෝරාවකටය.
ඉන්පසු බුද්ධ පූජාව හා දේව පූජාවෙන් පසු බැතිමතුන්ට නව වසරේ ශ්‍රී පාද වන්දනාව සිදු කිරීම සඳහා අවස්ථාව සැලසේ. මෙසේ ආරම්භ වන ශ්‍රී පාද වන්දනාව එළැඹෙන වසරේ වෙසක් පුන් පොහෝ දිනය දක්වා අඛණ්ඩව මාස 06ක කාලයක් තිස්සේ පවතී.
ශ්‍රී පාදස්ථානය වන්දනා කරන අයුරු
(අතීතයේ ශ්‍රී පාදස්ථානය වන්දනා කල අයුරු පහත සඳහන් වේ. අප අතරින් ඈත් වන පැරණි ක්‍රම නැවතත් ලං කරදීම සඳහා එකළ සිරිත් පමණක් මෙහි අන්තර්ගත කරන ලදී)
පුරාණයේ යම් නඩයක් ශ්‍රී පාද වන්දනාව සඳහා සූදානම් වූයේ නම් මෙම කරුණු පිලිබඳ ඔවුන්ගේ ප්‍රධානම අවධානය යොමු වී තිබී ඇත.
· පේ වීම
- ගමනට මසකට, සතියකට පමණ පෙර ලෙස නිශ්චිතව වෙන් කරගන්නා කාල සීමාවක් තුල මස් මාංශ අනුභවය, මත් ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම අත් හැරීම. මීට අමතරව ගමන ආරම්භයේදී දෙහි හා කහ යොදාගනිමින් හොඳින් ස්නානය කිරීම.
· ආරක්ෂාව පතා බුදුන් වැඳ පින් දී දෙවියන්ට බාරවීම
- ගමනට පෙර පන්සල් ගොස් බාරයක් වීම හා පැමිණි පසු එම බාරය ඔප්පු කිරීම මෙමගින් අදහස් වේ.
· පන්සිල් සිල්ගැනීම හෝ සමහරුන් අටසිල් හෝ දසසිල් වශයෙන් කිසියම් ශීලයක් සමාදන්වීම.
- ගමන ආරම්භ කරනු ලබන්නේ නිසි ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුන් වැඳ දෙවියන්ට පින් දීමෙන් පසුය.
· විශේෂ කෑමබීම පිළියෙල කර ගැනීම
- ගම්මිරිස් යොදා සකස් කළ අග්ගලා අළුවා වැනි ශිතල වලකන කෑම වර්ග හා සරල අත් බෙහෙත්.
· සැහැල්ලුව සකස් කර ගැනීම (ගෙනියනු ලබන ගමන් මල්ල)
- අත්‍යාවශ්‍ය විය හැකි ඇඳුම්, ඉදිකටු සහ නූල්, ඉතා පිරිසිදුව ගෙවල්වලම සිඳගත් පොල්තෙල්, පිරිසිදු සුදු රෙදි වලින් සකස් කරගත් පහන්තිර, බාරවීම පිණිස පිරුවට වල ගැටගසන ලද පඬුරු සහ පද්මයට හා ඒ මත පිහිටි සමන් දේවාලයට දැමීම පිණිස පඬුරු, තුන්සරණ කවි පාඩම් නොමැති අය තුන්සරණ කවි අඩංගු පොතක් ආදියද මේ සැහැල්ලුව තුළ අඩංගුවේ.
ශ්‍රී පාද වන්දනාවේදී පුරාණයේ පටන් විශේෂ වදන් පෙළක් ගැබ් වී පවතී. ශ්‍රී පාද වන්දනාවට පමණක් අනන්‍ය වූ මේ වචන තුලින් එකල ශ්‍රී පාද වන්දනාව ඔවුන් කෙතරම් ගරුත්වයකින් යුතුව සිදු කලේද යන්න පැහැදිලි වේ.
· පද්මය
- පද්මය යනුවෙන් ද ව්‍යවහාර වන මෙයින් අදහස් වන්නේ වැඳීම පිණිස යන ශ්‍රී පතුල් ලංඡනයයි.
· සැහැල්ලුව (ගමන් මල්ල)
- කෙතරම් බරක් තිබුණද ගෙන යන ගමන් මල්ල හැම විටම හඳුන්වන ලද්දේ මේ නමිනි.
· කරුණා කිරීම
- ශ්‍රී පාදය වන්දනාව සඳහා ගමන් කිරීම මෙමගින් අදහස් කෙරේ.
- ඉහලට කරුණා කිරීම වන්දනාව සඳහා යාම අදහස් කරන අතර පහලට කරුණා කිරීම ශ්‍රී පාදස්ථානය වන්දනා කොට ආපසු පැමිණීම අදහස් කෙරේ.
· නඩය
- ශ්‍රී පාද වන්දනාව සඳහා කිහිප දෙනෙක් සූදානම් වූයේ නම් ඒ සියලු දෙනා හඳුන්වන්නේ නඩය යන නමිනි.
· නඩේ ගුරා
- තම කණ්ඩායමේ නායකයා හෙවත් ගමනට මග පෙන්වන්නා. මොහුගේ විධානයන් පිළිපැදිය යුතු අතර ඔහුගේ විධානයෙන් පිට කිසිවක් නොකළ යුතුය.
· කට වරද්දා ගැනීම
- මෙහි විශාල අදහසක් ගැබ්ව ඇත. පුරාණයේ පටන් මිනිසා ශ්‍රී පාද වන්දනාව ඉමහත් ශ්‍රද්ධාවෙන් සිදු කල අතර සමන් දෙවියන් පිලිබඳ ඉමහත් භක්තියෙන් මෙම ගමන සිදු කරයි. අසීරු ගමනක් බැවින් ඇතැමුන් විසින් “මහන්සියි, නවතිමු, මට බෑ, අමාරුයි” වැනි (තමන්ට බැරි යැයි හඟවන වචන) කියවීම (සිතාමතා හෝ නොසිතා) සිදුවීම කට වරද්දා ගැනීම ලෙස හඳුන්වයි. මෙවන් වචන පිටවූ පසු සමන් දෙවියන්ගේ උදහසට ලක්වන බව විශ්වාසයයි.
- මෙවන් වචනයක් පිටවූ වහා නඩේ ගුරා විසින් සිදු කල යුතු කාර්යය වන්නේ සමන් දෙවිඳුන් වැඳ ඒ වෙනුවෙන් සමාව ඉල්ලීමයි. එසේම එය පැවසු වන්දනාකරු විසින්ද, සියලු නඩයම එහිදී සමාව ගත යුතු බව පුරාණයේ පටන් එන සිරිත් විරිත් වල සඳහන් වේ.
- “හා! හා ! කට ! කිරිකෝඩු (හෝ දඬුකෝඩු) කට කට!!!කරුණාවයි, කරුණාවයි ! මෙතනම ඉඳන් බුදුන් දෙයියන් වැඳල කරුණා කරපන්” මෙහි අන්තර්ගතයෙන් ඒ පිළිබඳව මනාව වැටහීමක් ලබාගත හැක.
සිරි පා කන්ද කරුණා කරන අය අනිවාර්යයෙන් පිළිපැදිය යුතු චාරිත්‍ර වාරිත්‍ර සමූහයකි. අනුනට කරුණාවෙන් උදව් කිරීම, තමන් සතු කෑම බීමෙන් සෙස්සන්ට සංග්‍රහ කිරීම,තමාට වඩා දුබල අයකු දුටු විටක උදව් වීම,පූජනීය අයට උදව් කිරීම, වැඩිමහල්ලන්ට ගෞරවයෙන් සැලකීම, කුඩා දරුවන්ගේ අවශ්‍යතා සොයා බැලීම, ආදරයෙන් කරුණාවෙන් සැලකීම හා උදව් කිරීම, නඩේගුරාට කීකරුවීම හා ගරුකිරීම, තමා කරුණාකරණ ස්ථානය හෝ පා තබන පඩිය ගැන පමණක් මනාව අවධානය යොමුකර පා තැබීම ආදී මේ කරුණු වලින් පෙර ශ්‍රී පාදස්ථානය කරුණා කල වන්දනා කරුවන් ඒ සඳහා කොපමණ භක්තියක් හා ගරුත්වයක් මුසු කලේද යන්න පිළිබිඹු වේ.
ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේදී එක් එක් මාර්ග වලදී හමුවන විශේෂිත ස්ථානයන් කිහිපයක් වේ.
භගවා ලෙන
ලංකා මහිවරවධු මකුටායමානේ
අස්මිං සමන්තගිරිමුද්ධනි යත්ථ ලේණේ
සත්ථා දිවාවිහරනණං හි විහාසි තස්මා
වන්දාමි දේවමහිතං හි දිවාගුහංතං
දිවාගුහාව ලෙසට ද මෙය ව්‍යවහාර වේ. ශ්‍රී පාදස්ථානයට වැඩි ගමනේදී බුදුරජාණන් වහන්සේ දහවල් කල වැඩ සිටි තැන මෙය යැයි විශ්වාස කෙරේ.මෙතෙක් ඵෙතිහාසික වශයෙන් පැවැත එන සොළොස්මස්ථානයන්ගෙන් දිවා ගුහාව යන ස්ථානය නිශ්චිත තත්වයන් මත කෙසේ වෙතත් සාධාරණ විශ්වාසයන් මත හෝ හඳුනා ගැනීමට තවමත් නොහැකි වී තිබේ.
නමුත් මේ වන විට හැටන් - නල්ලතන්නි මාර්ගයේ උඩ මළුවට ආසන්නයෙන් පිහිටි එක්තරා ගල් ගුහාවක් දිවා ගුහාව ලෙස හඳුනා ගෙන සිටි. මන්දයත් එහි නිශ්ශංකමල්ල රජතුමා විසින් කරන ලද ශිලා ලේඛනයක් වර්තමානයේ භගවා ලෙන යැයි විශ්වාස කරන ස්ථානයෙහි පිහිටා තිබීමයි.
ඇතමකු පවසන්නේ මෙම ස්ථානය මිනිස් ඇසට හසුවීමට ඉඩ නොදී දෙවියන් විසින් ආරක්‍ෂා කරන බව යි. සමහරුන් මෙය අත්භූත බලවේගයන්ට බාර දී තිබේ. තවකකු පවසන්නේ දිවාගුහාව සොයා යාමෙන් අතුරු අන්තරා සිදු විය හැකි බව යි. ඒ නිසා එය කිසිසේත් සොයාගත නොහැකි බව ඔවුන් ගේ අදහස යි. මෙතෙක් දිවා ගුහාව සොයා ගැනීමට නො හැකි වූ නිසාම ඒ වටා මෙවැනි අභූත කතන්දර රාශියක් ගොඩ නැගී තිබේ. ඒවා අභියෝග ලෙස ගනිමින් මෙවැනි ඓතිහාසික ස්ථානයක් ගවේෂණය කිරීමෙන් වැළකී සිටීමම ප්‍රශ්නයට උත්තරයක් නොවේ. ප්‍රාමාණික වියතුන්, පුරාවිද්‍යාඥයන් ඉතිහාසඥයන් ආදි වූ වගකිව යුතු ඇත්තන් මෙවැනි ගවේෂණයකට පෙරට ආ යුතුව ඇත.
බුදුන් වහන්සේ සමන්තකූටයට වැඩ ගිරග මත සිරිපා ලකුණ සටහන් කර දිවා විහාරණය (දිවා විහාරය) සඳහා කඳු සිඛර පා මුල වූ ගුහාවකට වැඩිය බව වංශ කතා වල සඳහන් වෙයි. බුදුන් වහන්සේ දිවා කාලය විවේක සුවයෙන් ගත කළ ස්ථානය නිසා මෙය දිවා ගුහාව වශයෙන් ප්‍රකට විය. භගවා ගුහාව, භගවාලෙන යන වෙනත් නම් වලින් ද කියැවෙන්නේත් මෙයම ය. දිවා ගුහාව පිහිටා ඇත්තේ ශ්‍රී පාද කන්ද පාමුල බව සිතීමට හැකි සාක්‍ෂී බොහෝමයක් තිබේ. මහාවංශය පවසන්නේ “සංඝයා සහිත වු සේක් ඒ පර්වත පාදයෙහි සැපසේ දිවා විහරණය කොට....” ආදි වශයෙනි. පූජාවලියට අනුව “සමනොල ශ්‍රී පාදය ඔබා එගල් පා විට භගවත් නම් ලෙන වැඩ හිඳ සමවත් සුවයෙන් දිවා විහාර කොට..” ලෙස සඳහන් වෙයි.
වෙදෙහ සාමින් විසින් රචිත සමන්තකූට වර්ණ ගාථා වලින් ද සමන්කුළ පාමුල දිවා ගුහාව පිහිටා ඇති බව පැවසේ.
වෙදෙහ සාමින් විසින් රචිත සමන්තකූට වර්ණ ගාථා වලින් ද සමන්කුළ පාමුල දිවා ගුහාව පිහිටා ඇති බව පැවසේ.
“සිරිපා මළුව සිට හැටන් පාර දිගේ අඩි 300 ක් පමණ බසින විට මාවත වම් පස අඩි 8 1/2 ක් උස අඩි 25 ක් පමණ දිගැති කොටසක් හාරා පළල් කළ ක්‍රමයෙන් නැමී ගිය රමණීය, පිහිටි ගල් ගුහාවකි. සුමන සුරිඳුන්ගේ ආරාධනාවෙන් සමන්කුළු මත සිරිපා ලකුණූ තැබු තථාගතයාණන් වහන්සේ දිවා විහරණය කළ සේක් පර්වත පාදයෙහි නුදුරින් පිහිටි තෙල ගල් ගුහාවේ යැයි සිතිය හැක” (සබරගමු පැරැණි ලියවිලි - පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල)
නිශ්චිත වශයෙන් මෙහි සඳහන් වන ගල්ලෙන කිසිසේත් අපට අමතක කර හෝ මග හැර යා නොහැකි ය. එතැනට පිවිසෙන ගවේෂකයාට මෙම ලෙන ඉදිරියේ වන ගල්බිත්තියේ ඇති සෙල් ලිපිය ඇස ගැසෙණු ඇත. කීර්ති ශ්‍රී නිශ්ශංක රජතුමා (ක්‍රි.ව. 1187) සිරිපා වැඳි ආකාරය දක්වන රේඛාමය රූ සටහනත් පේලි 7 කින් යුතු අඟල් 10 ක් දිග අඟල් 9 ක් පළල සෙල් ලිපියත්, ඊට දකුණු පසින් ඇති අඩි 5 අගල් 6 ක් දිග සහ අඩි 1 යි අඟල් 10 ක් පළල පේලි 14 කින් යුතු සෙල් ලිපියත් මේ ගුහාවේ ඉදිරියේ වන ගල් බිත්තියේ සටහන්ව තිබේ. පොළොන්නරු සමයේ සිංහල අක්‍ෂරයෙන් ලියන ලද මෙම සෙල් ලිපි දෙකෙන් මුල් සෙල් ලිපියේ කොටා ඇති රේඛා සිතුවමෙහි උස් හිස් වැස්මකින් සහ ශරීරය අලංකාර කරන ලද ආභරණ ද පැළැඳ වන්දනීය ඉරියව්වෙන් පිළිබිඹු වන මානව රූපය කීර්ති ශි‍්‍ර නිශ්ශංක රජතුමාගේ බව සනාථ කර ගත හැක.
රජතුමා ඇද සිටින්නේ පොළොන්නරු යුගයට අයත් ඇඳුම් බව වියත් මතය යි.
එහි ඇති අක්‍ෂරයන් මෙසේ ය. “නිශ්ශං-ක පරාක්‍රමබාහු-හු චක්‍රවර්ති ස්වාමින්වහන්සේ-පදලස දා -බැඳ බැස සිටි-නියායි” මෙහි වචන වෙන් කර තිබෙන්නේ එම පේලි හතේ තිබෙන ආකාරයට ය.
දෙවැනි සෙල් ලිපියේ සඳහන් වන්නේ “නිශ්ශංකමල්ල රජතුමා සිරිලක එක්සේසත් කළ බවත් සිරිපාමළුව රජත මාලයන්ගෙන් සහ නව රත්නයන්ගෙන් සැරැසූ බවත්....” ආදි වශයෙනි.
මෙහි සමහර අක්‍ෂර මැකී ගොස් ය.
එහි ඇති අක්‍ෂරයන් මෙසේ ය. “නිශ්ශං-ක පරාක්‍රමබාහු-හු චක්‍රවර්ති ස්වාමින්වහන්සේ-පදලස දා -බැඳ බැස සිටි-නියායි” මෙහි වචන වෙන් කර තිබෙන්නේ එම පේලි හතේ තිබෙන ආකාරයට ය.
දෙවැනි සෙල් ලිපියේ සඳහන් වන්නේ “නිශ්ශංකමල්ල රජතුමා සිරිලක එක්සේසත් කළ බවත් සිරිපාමළුව රජත මාලයන්ගෙන් සහ නව රත්නයන්ගෙන් සැරැසූ බවත්....” ආදි වශයෙනි.
මෙහි සමහර අක්‍ෂර මැකී ගොස් ය.
ගල් පස් රොඩු ආදියෙන් මුහුණත වැසි ඇති කටු කොහොළු වන ලැහැබ ආක්‍රමණයෙන් මෙම ඓතිහාසික ස්ථානය ගන වනයට වහන් වී තිබෙයි. ඒවා ශුද්ධ පවිත්‍ර කර ඇතුළත පාදා ගතහොත් සමහරවිට තවත් ඵෙතිහාසික සාධක මතුකර ගැනීමට පුළුවන් විය හැකි ය. දහස් ගණන් වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට යන මඟ ආසන්නයේ පිහිටා තිබුණ ද එය වනගහනය විසින් සඟවා තබාගෙන සිටියි. එහෙත් රජතුමා සෙල් ලිපියක් කෙටීමට මෙවැනි ස්ථානයක් තෝරා ගැනීමම විශේෂයක් නොවන්නේද? (උපුටා ගැනීම අවසන්)
මේ පිළිබඳව තවත් විශ්වාසයක් පවතී. එනම් බටතොට ලෙන දිවා ගුහාව ලෙස ඇති විශ්වාසයයි.
කුරුවිට සිට කිලෝමීටර් හතක් පමණ ගිය විට බටතොට ගම්මානය හමුවේ. එතැන් සිට බටතොට ලෙන් විහාරයට කිලෝමීටර් දෙකක් පමණ යා යුතු වේ. බටතොට ලෙන වශයෙන් මෙම විහාරය හැඳින්වුව ද මෙම ස්ථානය ‘දිවා ගුහාව‘ වන්නට ඇතැයි ජනප්‍රවාදය හේතු සාධක මතුකර පෙන්වයි. එනිසා මෙතැන දිවා ගුහාව නමින්ද හඳුන්වයි.
සමන් දෙවි රජුන්ගේ ආරාධනයෙන් භික්ෂුන් වහන්සේලා පන්සිය නමක සමඟ සමන්තකූට පර්වතයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ දිවා විහරණය ලද ස්ථානය පිළිබඳව තවමත් අපට නිශ්චිතව මේ යැයි කීමට නොහැකි ය. එහෙත් බටතොට ලෙන පිළිබඳව පිළිගැනෙන ජනප්‍රවාද ඇසුරේ දී බුදුරජාණන් වහන්සේ දිවා කාලයේ වැඩ විසුවේ මෙම ස්ථානයේ යැයි පිළිගත හැකි හේතු සාධක රැසක් ඇත.
නිශ්ශංකමල්ල රජුන් සමයේ ඉදිකර ඇති සැතපෙන පිළිම වහන්සේ මෙතෙක් ලංකාවේ ඉදිකර ඇති වෙනත් සැතපෙන පිළිමවලට වඩා විශේෂිත ය. සමනළ කන්ද දෙස බලාගෙන බස්නාහිරට සිරස තබා නැඟෙනහිරට පාද සිටින සේ අඩවන් වූ නෙතින් සැතපී සිටින බුදු පිළිම වහන්සේ නිර්මාණය වී තිබේ.
එමෙන් ම බුදුරජාණන් වහන්සේ මෙම ස්ථානයට වැඩම කළ අවස්ථාවේ සමන් දෙවියන් කළ ප්‍රාතිහාර්යයනට අනුව සුළං, ජලය, ආලෝකය සියල්ල මෙම ලෙන තුළට ලැබී ඇති බවට එක් සාධකයක් වන්නේ ලෙන් වහලයෙන් ඇද හැලෙන ජල බිංදු ය. ඉතා සිසිල් බවින් යුතු මේ ජලය දවස පුරා, වසර පුරා... ඇද හැලේ.
නිශ්ශංකමල්ල රජතුමා සමනළ පර්වතය සොයාගෙන ගොස් එන ගමනේදී දිවා ගුහාවට පැමිණ ඇති අතර පසුව එහි විසි එක් රියක් සැතපෙන පිළිම වහන්සේ ඉදිකරවා එම ස්ථානය සුරැකීම සඳහා රාජ කුමාරයකුට පවරා දී ඇත. රත්නවල්ලි නම් කුමාරිකාව සමඟ සරණ ගොස් සිටි කුමාරයා වෙනත් කුමාරිකාවන් පිරිසකගේ කේලාම් බස්වලට රැවටී නිවැරැදි රත්නවල්ලි කුමාරිකාව දස වද දී මරා දමා ඇත. මෙම සිදුවීමෙන් පසුව කුමාරයා ගැන වෛරයෙන් මියගිය කුමාරිකාව යක්ෂණියක්ව ඉපිද දිවා ගුහාව වන්දනාමාන කිරීමට යන එන නඩවල සිටින තරුණයන් මරු වසගයට ගෙන ඇත. නඩවල සිටින හැඩකාර තරුණයන් මෙහිදී අතුරුදන් වී ඇත. එමෙන් ම පාරවල් වැරදී මං මුලාවී ඇත. මේ හේතු නිසා එන පිරිස ක්‍රමයෙන් අඩු වූ අතර දිවාගුහාව යළිත් කැලෑවට ගොස් ඇත.
පසු කාලයකදී භාවනානුයෝගීව සිටි ආනන්ද මෛත්‍රි හිමියන් මෙම ස්ථානයට පැමිණ ඇති අතර උන්වහන්සේ ගේ උපදෙස් අනුව යම් යම් කටයුතු කරනු ලැබීය. රත්නවල්ලි යක්ෂණිය වෙනුවෙන් එම භූමියේ කොටසක් වෙන්කර ඇති අතර ඇගෙන් කිසිදු කෙනකුට හිරිහැරයක් නොවනු වස් යක්ෂ ආත්මයෙන් මිදීම සඳහා අටපිරිකරක් ද පූජා කර ඇතැයි කියැවේ.
ගලමතින් වැටෙන දිය එකතු වීම සඳහා පොකුණක් ඉදිකරවා ඇති අතර එම පොකුණ මැද ගෙම්බකුගේ පිළිරුවක් ද ඇත. ඒ හා බැඳී ඇති කතාව ද අපූරු ය.
දිවා ගුහාව නැවත සොයා ගැනීමෙන් අනතුරුව කැලෑව එළිපෙහෙළි කිරීමේදී උපාසක මහතකු අත රැඳි උදැල්ල වැදීමෙන් ගෙම්බකු මිය ගිය අතර ඉන්පසුව ගෙම්බන්ගේ කෑගැසීමෙන් වෙනත් කිසිදු කාර්යයක් කර ගැනීමට නොහැකි වී ඇත. පසුව මියගිය ගෙම්බා සිහිකර ගෙබි රූපයක් පොකුණ මැද ඉදිකිරීමෙන් පසුව ගෙම්බන්ගේ කරදරය නිමවී ඇත.
බටතොට ලෙන එක් පසෙකින් ඇත්තේ එරත්න ගම්මානයයි. අනෙක් පසින් සුදාගල ද අනෙක් පසින් මාවත්ත කන්ද ගම්මාන ද වේ.
මෙම ලෙන තුළ චෛත්‍යයක් ද ඉදිකර ඇති අතර මෙම ස්ථානය වන්දනාකරුවන්ට පැමිණිය හැකි අයුරින් සොයා සකස් කළ බලන්ගොඩ හාමුදුරුවන් සිහිවීම පිණිස උන්වහන්සේ ගේ පිළිරුවක් ද ඉදිකර තිබේ. ලෙන් විහාරයේ අනෙක් පසින් විෂ්ණු දෙවියන්ගේ පිළිරුව ඉදිකර තිබේ. ඊට හේතුව වන්නේ රත්නවල්ලි කුමාරියට වූ අසාධාරණය විසඳීම විෂ්ණු දෙවියන්ට භාරදුන් බව ජනප්‍රවාදයේ කියැවෙන නිසාවෙනි. (උපුටා ගැනීම අවසන්)
ශ්‍රී පාද පද්මය පිහිටුවාලීම සඳහා බුදුරජාණන් වහන්සේ සමනළ කන්දට වැඩම කරනා අවස්ථාවේදී මෙම ස්ථානයේදී සිවුර ඉරුණු බවත් ඉන් පසු උන් වහන්සේ එම ස්ථානයේ වැඩ හිඳිමින් එම සිවුර මැසූ බවට විශ්වාසයක් පවතී. එහිදී මාරයා විසින් උන්වහන්සේට බාධා කිරීමට විශාල වර්ෂාවක් ඇද වැස්සු බවටත් මතයක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
මෙම අවස්තාව සිහි කරමින් පළමුවරට වන්දනාවේ යන කෝඩු කාරයන් විසින් ඉඳිකටුවක නූල් අමුණා ඇද යෑමේ චාරිත්‍රයක් මෙහිදී සිදු කරනවා..
ශ්‍රී පලාබද්දල පාරෙන්, කුරුවිට පාරෙන් ගමන් ගන්නා ඔබට එහිදී එක් ස්ථානයක් විශේෂිතව ඇති අතර හැටන් නල්ලතන්නි මාර්ගයේදී මෙය තරමක් වෙනස් අපූරු ආකාරයෙන් වන්දනා කරුවන් සිදු කරයි. එනම් ඉදිකටු පාන දී අමුනාගන්නා මෙම නූල ඔවුන් විසින් දිගටම ඇදගෙන යනු ලබයි. තමන් සතු වන නූල් ප්‍රමාණය අවසන් වන තෙක් ඔවුන් හැකි තරමක් දුරට එය ඇදගෙන යනු ලබයි.
සාහිත්‍යයේදී මේ පිළිබඳව මේ ලෙසද හමුවේ.
ගෙත්තම් පානට ගොසින් බසින්නේ
ගෙත්තම් කරලයි සැමදෙන යන්නේ
ඉඳිකටු නූලුත් සුරතට ගන්නේ
ගෙත්තම් කර දෙවිඳුට පින් දෙන්නේ
ධර්මරාජ ගල චායාරූප මෙතනින්
ශ්‍රී පලාබද්දල මාර්ගයෙන් ගමන් කිරීමේදී පමණක් මේ ස්ථානය හමුවේ. ගල් තලාවක කැපු පඩි පෙළකි. 'ධර්මරාජ' නම් තාපසයෙකු බුදුබව පතා කළේ යැයි සැළකෙන සිරිපා වන්දනාව පහසු කරණු පිණිස ගලින් ම කපා ඇති පඩි පෙළක් මෙහි ඇත. වන්දනා කරුවෝ පඩි ගණන් කරත් ස්ථීර ගණනක් සැමට නොලැබෙන බවට විශ්වාසයක් ද ඇත.
ලිහිනි හෙළ චායාරූප මෙතනින්
ශ්‍රී පලාබද්දල මාර්ගයෙන් ගමන් කිරීමේදී පමණක් මේ ස්ථානය හමුවේ. තමන්ගේ දරුවා සමග ප්‍රපාතයට වැටුණු ලිහිනි අක්කා සිහි කිරීමට මේ නම යොදා ඇති බව ජනප්‍රවාදයෙ සඳහන් වෙනවා. ඇය දේවආත්මයක් ලබා ඇති බව ද කවුරුන් හෝ ඇයට අඬ ගැසුවොත් ඊට ඇය පිළිතුරු දෙන බවට විශ්වාසයක් ඇත. මෙහිදී වන්දනා කරුවන් ශබ්ද නගා “ලිහිණි අක්කේ” යනුවෙන් ශබ්ද කරන අතර ඉන් පසු “ඒ.. ඒ.. ඒ.. වැනි ශබ්දයක් ඇසේ. මෙහිදී සිදු වන්නේ කතා කරන හඬ දෝංකාර දීමයි. මහා ප්‍රපාතයක් සහිත දෝරුවක් ඇති ස්ථානයක් ය.
ආඬියා මළ තැන්න චායාරූප මෙතනින්
සීතාවක රාජසිංහ රජු සමයේදී ප්‍රධාන ශිව භක්තිකයෙකු (ආඬි) මළ නිසා මේ ස්ථානය 'ආඬියා මළ තැන්න' නමින් හැඳින්වෙන බවට විශ්වාස කරනවා.
අහස් ගව්ව / සුළං කපොල්ල චායාරූප මෙතනින්
මහගිරිදඹ නම් අසීරු ස්ථානයේ ඇති අධික ලෙස සුළඟ හා සීතල සහිත ස්ථානයකි. රාත්‍රී කාලයේ මෙම ස්ථානයෙන් ගමන් කිරීම ඉතා දුෂ්කරය.
මහගිරිදඹය චායාරූප මෙතනින්
ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේදී හමුවන දුෂ්කරම කොටසයි. අංශක 80 කට ආසන්න සෘජු මාර්ගයක් ඔස්සේ ගමන් කල යුතු අතර පඩි උසින් පිහිටයි. ක්‍රමයෙන් වැඩි වන අධික ශීතල, සුළඟ නිසා ගමන දුෂ්කර වේ. 'දඹේ' යන්න 'උස් වූ කඳු මුදුන' යන අරුත දේ.
මහගිරි දඹයද පෙනෙති ය ගොල්ලේ
නගිනට පඩි ඇත එහි නැවතිල්ලේ
ගුණ කියමින් නගිති සියල්ලේ
බුදු මඟුලකි මෙය දනුව සියල්ලේ
ශ්‍රී පාද වන්දනාවේ අනෙක් ප්‍රධානම අංගය වන්නේ තුන් සරණේ කවි ගායනයයි. සමන් දෙවියන් පිලිබඳ ඇති භක්තිය හා බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය වෙනුවෙන් මෙම තුන් සරණේ කවි නිර්මාණය වී ඇත.
ගායනා කරන කවි ගමණේ ආරම්භයේ දී හා අවසන දී මෙන්ම අතර මැද දී දනිතර නිතර පාහේ කියවෙන අනිවාර්ය කවියක් වන්නේ තමන් තෙරුවන සරණ ගිය බව සිහිපත් කිරීම බව පෙනේ. ඒ සමගම සුමණ සමන් දෙවියන්ට පින් දෙන කවි හා පිහිට යදින පිහිට පතන කවි ද ඇතුලත් කවි ගැයූ බව කියවේ. තෙසරණ ගිය බව සිහිපත් කරගන්නා කවිය මෙසේය
නඩේගුරා – බුද්ධංසරණේසිරසදරාගෙන………
පිරිස – බුද්ධංසරණේසිරසදරාගෙන………
නඩේගුරා – ධම්මංසරණේහිතපහදාගෙන………..
පිරිස – ධම්මංසරණේහිතපහදාගෙන………..
නඩේගුරා – සංඝංසරණේසිවුරුදරාගෙන……….
පිරිස – සංඝංසරණේසිවුරුදරාගෙන……….
නඩේගුරා – ගඤ්ඤයිතුන්සරණේඅදහාගෙන…….
පිරිස – ගඤ්ඤයිතුන්සරණේඅදහාගෙන…….
මෙලෙස එක් එක් පෙළ නඩේ ගුරා හඬනගා කියන අතර එය අනුකරණය කරමින් සෙස්සෝ ගායනා කරති. නඩේගුරා සමග ඉතා ළයාන්විතව දීර්ග ලෙස ඇදෙමින් ගැයෙන තවත් ගායනාවක් මෙසේය.
අලුයම බුද්ධං සරණේ ගඤ්ඤයි…………
මැදයම ධම්මං සරණේ ගඤ්ඤයි………..
පෙරයම සංඝං සරණේ ගඤ්ඤයි………..
තුනයමටම තුන් සරණේ ගඤ්ඤයි…….
මෙලෙස නඩේගුරා සමග අත්වැල් අල්ලමින් ඉක්මන් තාලයකින් ගායනා කරන කවිද වෙයි. එවැනි ප්‍රකට කවි පද කීපයක් පහත දැක්වේ.
අපේ බුදුන්... අපි වඳින්න..
දොහොත් නඟා... අපිවඳින්න...
නළල තියා... අපිවඳින්න...
පෙරළි පෙරළි... අපිවඳින්න...
බුදු සිරිපා... අපි වඳින්න...
සුමන සමන්... දෙවි පිහිටයි...
මෙහිදී සිරිපා කරුණා කරන්නට යන සහ පද්මය වැඳ ආපසු බසිමින් සිටින පිරිසක් හෝ කෙනෙකු තම නඩයට මුණ ගැසුන විටක සෙත් පතමින් ගායනා කරන කවිපද ද අනිවාර්යයෙන් ගැයීම සිරිත වෙයි. තමන් සපමින් සිටින කිසියම් අහරක් වෙතොත් පිළිගැන්වීම මෙන්ම එසේ පිළිගන්වන ආහාර පිළිගත යතු වීම ද සියල්ලෝම අනුගමනය කරති. මේ අවදියේ රටේ දස දිගින්ම පැමිණි අය ද මේ සිරිත් සියල්ලම අනුගමනය කර ඇති බව කියවේ.
එලෙසින් බසිමින් සිටින නඩයක් මුණ ගැසුන විට
වැඳල බහින මේ නඩේට...
සතර වරම් දෙවි පිහිටයි...
එවිට ඔවුන් විසින් පෙරලා මෙලෙසින් පිළිතුරු ලබා දේ
වඳින්න යන මේ නඩයට...
සුමන සමන් දෙවි පිහිටයි...
පඩියෙන් පඩිය ඉහළට යා යුතුය නගින්න පඩියක් නැති වවන තුරුම ඉහළ නොබලා යා යාතුය.අන්තිමේ සියල්ලන්ටම තමන් ඉහළටම ඇවිත් ඇති බව පසක් වෙයි. හිතට දැනෙන අප්‍රමාණ සතුට දරා ගන්න අපහසු තරම් වන නඩයේ ඇත්තෝ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මය මත නලල ගසා නමස්කාර කරති. කෝඩු කාරයන්ගේ නලල පද්මය මතට තබන්නේ නඩේගුරා හෝ වෙනත් වැඩිහිටියෙකු විසිනි. එය නලල තැබීමක් නොව නලල පද්මය මතට ගැසීමකි.
උඩ මළුවේදී ඉන් පසු කෙරෙන අනෙක් චාරිත්‍රය වන්නේ එහි ඇති විශාල ඝන්ටාරය නාද කිරීමයි. මෙහිදී වන්දනා කරුවන් අතර සිරිතක් වන්නේ තමන් පැමිණි වාර ගණන සිහි කරමින් එම ගණන නාද කිරීමයි.
කෝඩු කරුවන් එහිදී එක් වරක් පමණක් ඝන්ටා නාද කරයි.
මෙම දීර්ඝ ලිපියේ අවසානයේ එක් දෙයක් සඳහන් කිරීමට කැමැත්තෙමි. මෙය වන්දනාවක් මෙන්ම සුන්දර චාරිකාවක් ද වේ. අති සුන්දර පරිසරයක් හරහා ඉතා වීර්යයෙන් තරණය කොට බුදු සිරිපා පහස ලැබීමට හැකි වීම එක්තරා භාග්‍යයකි. මෙම ලිපියේ පැරණි ක්‍රම පමණක් සඳහන් කර ඇත්තේ මෙම ලිපි පෙළ කියවන ශ්‍රී පාදය කරුණා කර නොමැති වන්දනාකරුවන් මූලික කරගෙනයි. පැරණි සම්ප්‍රදායන් ක්‍රම ක්‍රමයෙන් ගිලිහී යන මෙම කාලයේ මෙතරම් අසීරුවෙන් තරණය කරනා සමනළ කන්ද වැඳ පුදාගැනීමට මේ සම්ප්‍රදායන්ම ලං කර ගැනීමට කතුවරයා ඔබෙන් කාරුණික ආයාචනයක් අයැද සිටී..
ඒ ඔබේ ආරක්ෂාව සඳහා පමණක් නොව... මුළු සමනළ අඩවියේම ආරක්ෂාව උදෙසායි...
උපුටා ගැනීම් අන්තර්ගත අතර සියලු කතුවරුන්ට එහි ගෞරවය හා ස්තුතිය හිමි වේ.
ස්තුතියි. ගොඩක් වටින ලිපියක්.
ReplyDelete